UPDATE


ලෝටස් පාර වැසීගිය බැංකු සේවක සංගමයේ දැවැන්ත විරෝධතාව | බැංකුවල රාජ්‍ය අයිතිය පුද්ගලික අංශයට විකුණන්න හදනවා

රාජ්‍ය බැංකු තුළ මේ වන විට උද්ගතව ඇති අර්බුද වලට විසඳුම් ලබාදීමට බලධාරින් දිගින් දිගටම කල්‍ මැරීම තුල සංගමයත් රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයත් ඊට එරෙහිව වෘත්තීයසමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට තීරණය කරන ලදී.

ඒ අනුව එහි තවත් පියවරක් ලංකා බැංකු සේවක සංගමය ප්‍රමුඛ රාජ්‍ය බැංකු එකාබද්ධ වෘත්තීය සමිති සංධානය ලෙස BOC,PB හා NSB යන ප්‍රධාන රාජ්‍ය බැංකු ත්‍රිත්වයේත් ලංකා බැංකු සේවක සංගමය ලෙස RDB ,HDFC හා SMIB බැංකු වල ප්‍රධාන කාර්‍යාල නියෝජනය කරන සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සහ සංගමයේ අනෙකුත් ශාඛා සංගම් වල නිළධාරී මණ්ඩල සහෝදර සහෝදරියන් ඇතුළු අතිවිශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද දැවැන්ත පිකට් උද්ඝොෂණය ඊයේ (2025/09/12) දින කොළඹ කොටුව ලේක් හවුස් වටරවුම ඉදිරිපිටදී පවත්වන ලදී.

එම පිකට් උද්ඝොෂණයෙන් අනතුරුව පිරිස පෙළපාළියකින් මුදල් අමාත්‍යංශය වෙත සංදේශයක් භාරදීම සඳහා ගමන් ආරම්භ කළ අතර පොලීසිය විසින් එම පෙළපාළිය අතර මඟදී අවහිර කරන ලදී.

මෙහිදී පොලිස් අවහිරකිරීම් නොසලකා දිගින් දිගටම විරෝධතා පාඨ කියමින් විරෝධය පල කළ පසු ලංකා බැංකු සේවක සංගමයේ සහ රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘතීය සමිති සංධානයේ නායක සහෝදරවරුන් කිහිප දෙනෙකුට අදාල සංදේශය භාරදීමට මුදල් අමාත්‍යංශය වෙත යාමට පොලිසිය විසින් ඉඩ සලසන ලද අතර ඔවුන් විසින් මුදල් අමාත්‍යංශයේ නියෝජිතයෙකුට එම සංදේශය භාරදීම සිදු කරන ලදී.

රටේ ආර්ථිකයේ මර්මස්ථාන වන බැංකු පද්ධතිය තුල ක්‍රියාත්මක මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට අනතුරුවද රාජ්‍ය බැංකු ගැටළු විසඳීම වෙනුවෙන් නිසි ප්‍රතිචාරයක් වගකිවයුතු පාර්ශවයන්ගෙන් යොමු නොවන්නේ නමි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට ලංකා බැංකු සේවක සංගමය මෙන්ම රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීන්දු කර ඇත.

රාජ්‍ය බැංකු ගැටළු විසඳාගැනීමට සාමූහිකව සටන් වදිමු!

ලංකා බැංකු සේවක සංගමය

2025.09.13


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks