2026 අප්‍රේල් 08 වන දින වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව (PTUA) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවත්වුණු අතර එයට ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කරමින් අප සංගමයේ ජ්‍යේෂ්ඨ උප සභාපති අනූප නන්දුල සහෝදරයා සහභාගීවිණි.
මෙම රැස්වීමේදී පහත සඳහන් කරුණු සාකච්ඡා විය.
i) 2023 වසරේ සිට ක්‍රියාත්මක වූ උපයන විට ගෙවීමේ බද්ද (APIT) හරහා අපේක්ෂිත ආදායම් ඉලක්ක ඉක්මවා ගොස් ඇති බව PTUA පෙන්වා දෙන ලදී.
ii) ඩිජිටල්කරණය සහ අනෙකුත් ක්‍රියාමාර්ග හරහා බදු පදනම පුළුල් කිරීමට රජය ගෙන ඇති පියවර PTUA අගය කළේය.
iii) ඉහත ( i ) සහ ( ii ) කරුණු පදනම් කර ගනිමින්, රැකියා ආදායම මත පනවනු ලබන APIT බද්ද සඳහා සහනයක් ලබා දීමට අවකාශය පවතින බව IMF නියෝජිතයන් හමුවේ යළි අවධාරණය කළේය.
iv) තවද, 2025 නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැයට පෙර APIT බදු යෝජනාවක් ඉදිරිපත් කළ බවත්, ඒ පිළිබඳව රටේ වෘත්තීයවේදීන් සමඟ සාකච්ඡා කිරීමට රජය අපොහොසත් වීම සම්බන්ධයෙන් PTUA සිය අප්‍රසාදය පළ කළේය.
v) පසුගිය වසර කිහිපය පුරාම පාර්ලිමේන්තුව අනුමත කළ ප්‍රාග්ධන වියදම් ප්‍රතිපාදන වැය කිරීමට මූල්‍ය බලධාරීන් අපොහොසත් වී ඇති බව PTUA පෙන්වා දුන්නේය. මෙලෙස ප්‍රතිපාදන අඩුවෙන් වැය කිරීම ආර්ථිකයේ ධාරිතාවට මෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපන, බලශක්ති සහ පොදු ප්‍රවාහනය වැනි අත්‍යවශ්‍ය පොදු සේවාවන් පවත්වාගෙන යාමට බාධාවක් වන බව මෙහිදී අවධාරණය විය.
vi) බුද්ධි ගලනය තවමත් ආර්ථිකයේ බොහෝ අංශවලට බලපාන ගැටලුවක් වී ඇති අතර, එය නිපුන ශ්‍රම හිඟයක් නිර්මාණය කර ඇත. සාපේක්ෂව අඩු වැටුප්, ඉහළ පුද්ගලික බදු සහ දුර්වල පොදු සේවාවන් යන කරුණු, විශේෂයෙන්ම තරුණ සහ මැදිවියේ වෘත්තීයවේදීන් රට හැර යාමට ප්‍රධාන වශයෙන් බලපාන බව පෙන්වා දෙන ලදී. ඒ අනුව, වැටුප්, බදු සහ පොදු සේවාවන් සඳහා වන රජයේ වියදම් අතර නිසි සමබරතාවයක් පවත්වා ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම සියලු කරුණු පිළිබඳව IMF කාර්‍ය්මණ්ඩල නියෝජිතයන්ගේ අවධානය යොමුවූ අතර රජය සමඟ සිදු කෙරෙන ඊළඟ සාකච්ඡාවලදී මෙම කරුණු පිළිබඳව සැළකිල්ල යොමුකරන බවට සඳහන් කෙරුණි.
මේ සඳහා අප සංගමයට අමතරව විශ්ව විද්‍යාල ආචාර්‍ය සමිති සම්මේලනය , රජයේ වෛද්‍ය නිලධාරි සංගමය, ලං.වි.ම. ඉංජිනේරු සංගමය, මහබැංකු විධායක නිලධාරි සංගමය,වරාය අධිකාරි විධායක නිලධාරි සංගමය යන සංගම් නියෝජිතයින් සහභාගී විය.
ලංකා බැංකු සේවක සංගමය
2026.04.21
@ Ceylon Bank Employees Union.
Solution by TekGeeks