UPDATE


දෙස් විදෙස් නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් 15වෙනි ජාතික නියෝජිත සම්මේලනය සාර්ථකව අවසන් කෙරේ !

ලංකා බැංකු සේවක සංගමයේ 15 වැනි ජාතික නියෝජිත සම්මේලනය පසුගියදා (10) හෝමාගම, දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතන ශ්‍රවණාගාරයේදී 1500 කට අධික අතිවිශාල නිල නියෝජිත සහභාගීත්වයකින් යුතුව අති සාර්ථක ලෙස පැවත්වින.

නියෝජිත සම්මේලනයේ ප්‍රධාන ආරාධිත වශයෙන් කම්කරු කොමසාරිස් ජෙනරාල් නදීකා වටලියැද්ද මහත්මිය සහභාගීවූ අතර විදේශීය ආරාධිතයින් ලෙස සමස්ත ඉන්දීය බැංකු සංගමයේ ප්‍රධාන ලේකම් C.H.වෙන්කටාචලාම් සහෝදරයා ඇතුළු නියෝජිතයින්ද , ලෝක කම්කරු සම්මේලනයේ උප සභාපතිනී අමරජීට් කෝවූර් සහෝදරිය , UNI Global සංවිධානයේ ආසියා ශාන්තිකර කලාපයේ මූල්‍ය අංශයේ අධ්‍යක්ෂ ජයසිරි ප්‍රියලාල් සහෝදරයා ද මලයාසියානු බැංකු සේවක ජාතික සංගමයේ ප්‍රධාන ලේකම් J.සොලමන් සහෝදරයා ඇතුළු නියෝජිතයින්ද නේපාලයේ මූල්‍ය ආයතන සේවක සංගමයේ උප සභාපති බිකේෂ් ශ්‍රෙස්තා සහෝදරයා ඇතුළු නියෝජිතයින්ද, දේශීය විශේෂ ආරාධිතයින් ලෙස ලංකා බැංකු සේවක සංගමයේ සාමාජික බැංකුවල මානව සම්පත් ප්‍රධානීන්ද,

දේශීය වෘතිය සමිති ක්ෂේත්‍රය නියෝජනය කරමින් චතුර සමරසිංහ සහෝදරයා , වෛද්‍ය චමිල් විජේසිංහ සහෝදරයා , ඇන්ටන් මාකස් සහෝදරයා ඇතුළු ස්වාධීන වෘත්තීය සමිති නියෝජිතයින්ද සහභාගීවූහ. වසර 200ක් පමණ පැරණි කම්කරු නීතී සංශෝධනය කිරීමට කම්කරු කොමිසම සැරසෙන බවට කම්කරු කොමසාරිස් ජෙනරාල්තුමිය විසින් මෙහිදී සඳහන් කරන ලදී.

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල මෙතෙක් ජනතාව බලාපොරොත්තු වූ දේශපාලන පරිවර්තනය තවමත් ප්‍රමාණවත් ලෙස දෘශ්‍යමාන වී නොමැති බව කම්කරු ජනතාව අතර දැඩි සංවාදයක් ඇති මේ මොහොතේ රාජ්‍ය බැංකු හා රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීමේ මුවාවෙන් පෞද්ගලීකරණයට ඉඩ සැලසීම, විශ්‍රාම අයිතිවාසිකම් පිළිබඳ ප්‍රමාදයන්, කම්කරු නීති සංශෝධන, උපයන විට බදු (PAYE/APIT) බර, රාජ්‍ය සේවක අයිතිවාසිකම්, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය, නීතියේ ආධිපත්‍ය, පාරිසරික යුක්තිය සහ ලෝක යුද්ධයන්ගේ බලපෑම් ඇතුළු ප්‍රධාන ජාතික හා ජාත්‍යන්තර ගැටලු පිළිබඳව නියෝජිත සම්මේලනයේදී විශේෂ අවධානය යොමු කෙරිණි.

ලංකා බැංකු සේවක සංගමයේ 15 වැනි ජාතික නියෝජිත සම්මේලනය සඳහා දිවයින පුරා ශාඛා නියෝජිතයන්, විධායක හා මධ්‍යම කාරක සභිකයන්, දිස්ත්‍රික් සංවිධාන නියෝජිතයන් සහ වෘත්තීය සමිති නායකයන් එක්වූ අතර මෙම සම්මේලනයේදී,

රාජ්‍ය බැංකු ආරක්ෂා කිරීම, සේවක අයිතිවාසිකම් තහවුරු කිරීම, සාධාරණ විශ්‍රාම ක්‍රමයක්, බදු සහන, මූල්‍ය ක්ෂේත්‍රයේ තිරසර සංවර්ධනය, නව තාක්ෂණික අභියෝගයන්ට මුහුණදීම, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය ශක්තිමත් කිරීම, දූෂණයට එරෙහිව නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම, පාරිසරික යුක්තිය සහ ජාත්‍යන්තර කම්කරු සහයෝගීතාව ශක්තිමත් කිරීම ඇතුළු යෝජනා 28ක් ඒකමතිකව සම්මත කර ගැනින.

දශක අටකට අධික ඉතිහාසයකට හිමිකම් කියන ලංකා බැංකු සේවක සංගමය, කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, රාජ්‍ය බැංකු හා මහජන දේපළ සුරැකීම වෙනුවෙන් ශක්තිමත් ජාතික හා ජාත්‍යන්තර කම්කරු එකමුතුවක් ගොඩනැගීම සඳහා වූ මූලික කටයුතු ආරම්භය මෙවර පැවති 15 වන ජාතික නියෝජිත සම්මේලනයේදී සිදුවිය.

https://www.facebook.com/share/p/1Ka2BZGsUL/
https://www.facebook.com/share/p/1LHrNBS83b/
https://www.facebook.com/share/p/1BWXC2yWFa/

ලංකා බැංකු සේවක සංගමය දිගුකල් දිනේවා !


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks