UPDATE


රාජ්‍ය බැංකු පනත් සංශෝධන ප්‍රතිව්‍යුහගතකරණයටද? විකිණීමටද? කෘතිය එළිදැක්වීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවලට අනුකූලව පසුගිය ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් සකසා අනුමත කරන ලද රාජ්‍ය බැංකු පනත් සංශෝධනය කිරීම පිළිබඳව වූ යෝජනාව වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් ද නැවත එලෙසම අනුමත කර ඇත.

ඒ අනුව ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ පනත් සංශෝධනය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ද කටයුතු යොදමින් සිටී . මෙම සංශෝධනයන් තුළින් එම ප්‍රධාන රාජ්‍ය වාණිජ බැංකු දෙකේ රාජ්‍ය අයිතිය අභියෝගයකට ලක්වීමේ පැහැදිලි අවදානමක් නිර්මාණය වී ඇත. දිවයිනේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු සේවකයින්ගෙන් 90% ක් පමණ සාමාජිකත්වය දරන මූල්‍ය ක්‍ෂෙත්‍රයේ ප්‍රබලම වෘත්තීය සංගමය වන ලංකා බැංකු සේවක සංගමයේ ඒකායන මතය රාජ්‍ය බැංකු ඉදිරියේදීත් රාජ්‍ය අයිතිය යටතේ පැවතිය යුතු බවයි. ඒ පිළිබඳව සවිස්තරාත්මකව කරුණු දක්වමින් ලංකා බැංකු සේවක සංගමය විසින් මුද්‍රණය කරන ලද “රාජ්‍ය බැංකු පනත් සංශෝධන, ප්‍රතිව්‍යුහගතකරණයට ද? විකිණීමට ද?” යන කෘතිය එළි දැක්වීමේ උත්සවය 2026.06.23 වන දින ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක සහෝදරයාගේ සහ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක සහෝදරයාගේ මූලිකත්වයෙන් හා ප්‍රධාන ආරාධිත, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා ආචාර්ය අමාලි වෙදගෙදර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.දිවයිනේ පිලිගත් ස්වාධීන වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක නායකයින් සහ ලංකා බැංකු සේවක සංගමයේ මධ්‍යමකාරක සභිකයින් රැසකගේ සහභාගිත්වයෙන් මරදාන එල්පින්ස්ටන් රගහලේදී ඉතා අභිමානවත් අයුරින් මෙම ග්‍රන්ථය එළිදැක්වීම සිදු විය.

සංගමය විසින් එළිදක්වන ලද මෙම කෘතිය ජනතාව අතට පත් කරමින් රාජ්‍ය බැංකු වල රාජ්‍ය අයිතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සටන් කරන සියලු බලවේග එක්සත් කර සංවිධානය කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ඇති බව අවධාරණය කරමු.

https://www.facebook.com/share/p/1Rd9v9axA8/

ලංකා බැංකු සේවක සංගමය
2026.06.24


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks