GALLERY


Our Events, Activities...


කාර්ය මණ්ඩලයෙන් 2200 ක අත්සන් සහිතව පෙත්සමක් මුදල් අමාත්‍ය ගරු ජනාධිපතිතුමා වෙත යොමු කරයි

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඇතුළුව අප රට තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය බැංකු ස්ථාපිත කර ඇත්තේ යම් නිශ්චිත ජාතික අරමුණු මුල්කරගෙනය. එම පදනම මතම ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ද ආරම්භ කරන ලද්දේ අඩු ආදායම්ලාභී පවුල් ආර්ථික හා සමාජීය වශයෙන් බලගන්වමින් ඔවුන් විධිමත් බැංකුකරණ පද්ධතියට එක් කිරීමේ අරමුණ ඇතිවය. 1985 වසරේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ආරම්භ කළ දා පටන්ම මෙම අරමුණේ පිහිටා කටයුතු කළ අතර එම අරමුණු ජය ගනිමින් ස්ථාවරව ජාතික තලයේ එකම රාජ්‍ය සංවර්ධන බැංකුව බවට පත්වීමට හැකි වී ඇත. එහෙත් වර්තමානයේ මෙම බැංකුවට පත්ව ආ සභාපතිවරයා විසින් ආයතනික යහපාලනය බිඳ දමමින් සහ බැංකුවේ මෙහෙයුම් අංශ වලට අත පොවමින් එහි ආයතනික ව්‍යහුය කඩා බිඳ දමමින් සිටියි. බැංකුව විසින් නගා සිටුවීමට අරමුණු කළ අඩු ආදායම්ලාභී ජනතාව මේ වන විට සභාපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් කලකිරී සීඝ්‍ර ලෙස බැංකුවෙන් ඈත්වෙමින් පවතී. මේ හේතුවෙන් සාමාන්‍ය බැංකු ව්‍යාපාර කටයුතු ද සීමා වෙමින් පවතී. මෙම තත්ත්වය තේරුම් ගත් ලංකා බැංකු සේවක සංගමය අතීතයේ දී මෙන් බැංකුව රැකගැනීම පළමු කාර්යය කර ගනිමින් බැංකුවේ ඉදිරි පැවත්ම අවදානමේ හෙලන වත්මන් සභාපතිවරයා වහා ඉවත් කර සුදුසු පුද්ගලයෙකු පත් කරන ලෙස බලකරමින් 2400 ක් පමණ වන ස්ථීර කාර්ය මණ්ඩලයෙන් 2200 ක අත්සන් සහිතව මුදල් අමාත්‍ය ගරු ජනාධිපතිතුමා වෙත යොමු කරන ලද පෙත්සම නිහඬ විරෝධතාවක් සමඟින් අද (22) දින ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී මුදල් අමාත්‍යංශ නියෝජිතවරයාට භාරදෙන ලදී. මෙම අවස්ථාවට ලංකා බැංකූ සේවක සංගමයේ මව් සංගමයේ නිළධාරී මණ්ඩලය , ශාඛා සංගම් නායක සහෝදර සහෝදරියන් සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ශාඛා සංගමයේ නිළධාරී මණ්ඩල සහෝදරවරුන් ප්‍රමුඛ ලංකා බැංකූ සේවක සංගමයේ කොළඹ අවට ක්‍රියාකාරී සහෝදර සහෝදරියන් පිරිසක් සහභාගී වූහ. මෙය අඛණ්ඩ සටනක තීරනාත්මක මංසන්ධියක් වන අතර ජයග්‍රාහී ඉදිරි ගමනක් සඳහා සංගමයේ ධජය වටා පෙළ ගැසෙන මෙන් සහෝදරාත්මකව ලංකා බැංකූ සේවක සංගමයේ සියලු සාමාජිකත්වය වෙත ඇරයුම් කරමු.



@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks