UPDATE


පෝස්ටර් ඇලවෙයි ! නැවත ගැලවෙයි ?

පසුගිය වසර 1 1/2 ක අධික කාලයක් මුළුල්ලේ දරුණු වසංගතයකට මුහුණ දෙමින් බැංකු ක්‍ෂේත්‍රයේ අඛණ්ඩ සේවාව ලබාදීම වෙනුවෙන් කටයුතු කිරීම් රාජ්‍ය පාලනය විසින් නොසලකා හැර තිබේ. පන්දහසකට ආසන්න බැංකු සේවක ප්‍රජාවක් රෝගයට ගොදුරු වූ අතර, ජීවිත හානි කීපයක්ද වාර්තා වී තිබේ. බැංකු සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් කළ අතර, දැඩි සංචරණ සීමා, නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම ආදී අවස්ථාවල පවා ශාඛා විවෘත කරමින් කරනු ලැබු මෙහෙය පාලකයින් විසින් අවතක්සේරු කිරීම කණගාටුදායක තත්ත්වයකි.

අත්‍යාවශ්‍ය සේවා වලට හා රාජ්‍ය අංශයට එන්නත්කරණයේදී ප්‍රමුඛතාවය ලබාදුන්නද බැංකු සේවකයින්ට මේ වනතුරු එවැනි පිළිගැනීමක් ලබාදුන්නේද නැත. රටේ ආර්ථිකය යළි නගා සිටුවීමට ණය සහන හා දැනට විවිධ කටයුතු ක්‍රියාත්මක කිරීම ප්‍රවාහන, ආහාර පාන, සෞඛ්‍ය ගැටලු ඇතුලූ දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දෙමින් දිවා රෑ නොබලා කටයුතු කළ බැංකු සේවකයින්ගේ අයිතිවාසිකම් වලට මේ ආකාරයෙන් වංගු දැමීමකට එකඟ විය නොහැක.

එමෙන්ම බොහෝ රාජ්‍ය ආයතනවල සාමුහික ගිවිසුම් අවසන් කර ඇති වටපිටාවක රාජ්‍ය බැංකුවල වැටුප් වැඩිකිරීමේ අයිතිය බැහැර කිරීම යුක්ති සහගත නොවේ. සෑම වසරකම කෝටි ප්‍රකෝටි ගණනකින් මහා භාණ්ඩාගරයෙන් යැපෙන රාජ්‍ය ආයත වලට ආණ්ඩුව ලබාදෙන පිළි ගැනීම රාජ්‍ය බැංකුවලට ලබා නොදීම බරපතල අසාධාරණයකි.

කෙසේ වෙතත් බැංකු කළමනාකාරීත්වය සංගමය සමග එකග වු පරිදි සාමුහික ගිවිසුමි යෝජනා අධ්‍යක්ෂ මණ්ඩල වෙත යොමුකර මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය වෙත යොමු කරන ලදී. එසේ යොමුකර මෙි වන විට දින 41 ක් පමණ ගත වුවද අමාත්‍යාංශයෙන් කිසිදු සාධාරණ පිලිතුරක් නොමැති වීම තුල සංගමයේ විධායක සභාව තීන්දු කල පරිදි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යොමු වීමට සිදු විය.

ඒ අනුව අද දින කොළඹ නගරයේ පෝස්ටර් ඇලවීමට වෙන්කර ඇති පුවරු පමණක් භාවිතයට ගනිමින් ඉතාමත් සාර්ථක ලෙස පෝස්ටර් ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට සංගමය කටයුතු කරන ලදී. මේ අතරතුර සංගමයේ අතීතය සහ ශක්තිය ගැන අබමල් රේණුවකවත් අවබෝධයක් නොමැති සංවිධානාත්මක පිරිසක් විසින් එම පෝසටර් ගලවා දැමීමෙි අසාර්ථක උත්සාහයක යෙදුනද සංගමයේ ශක්තිය නොදැන මෙසේ කටයුතු කිරීම විහිලුසහගත ක්‍රියාවක් බව අවධාරණය කරමු

පෝස්ටර් කිහිපයක් ගැලවීම තුලින් සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ග නැවතීමට උත්සාහ දරන්නේනමි එය අසාර්ථක මෙහෙයුමක් බව සිහිපත් කල යුතුය.

මර්ධනයේ පාලකයිනි !

පෝස්ටර් සියල්ල එකින් එක ගළවා ඉවත් කළද අප නගන හඬ නොනවතිනු ඇත.

ගැටලුවට පිලිතුරු ලබාදිය හැක්කේ පිළිගත හැකි විසදුමි ලබාදීමෙන් මිස තාවකාලික පැලැස්තර ඇලවීමෙන් හෝ පෝස්ටර් ගලවමින් මර්ධනයේ හස්තය දිගු කරමින් නොවන බවද නැවත වරක් අවධාරණය කරමු.

අද වන විට දින 41 ක් ගතවී ඇතත් සාමහික ගිවිසුම් සඳහා විසඳුමක් නොලැබීම තුල අඛන්ඩ වැඩවර්ජනයක් දක්වා වු ක්‍රියාමාර්ග සඳහා යොමුවීමට සංගමය කිසිසේත් පසුබට නොවන බවද සිහිපත් කරමු.

පාලකයිනි !

සමස්ථ බැංකු සේවකයින්ගේ ඉල්ලීමට අවනත වනු !

සාමුහික ගිවිසුම් ගැටලුව වහා විසඳනු !


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks