UPDATE


රාජ්‍ය බැංකු සේවකයින්ගේ විශ්‍රාමය කෝ ?

බැංකු සේවක ගැටළු අතුරින් ප්‍රධානතම ගැටළුවක් ලෙස සැළකෙන 1996න් පසු රාජ්‍ය බැංකුවලට බැඳුණු සේවකයින් වෙනුවෙන් ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුවතුළ ස්ථාපිත කරනු ලැබූ විශ්‍රාම ප්‍රතිලාභයන්හි අඩුපාඩු නිවැරදි කිරීම හා විශ්‍රාම ප්‍රතිලාභ නොමැති ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB), නිවාස සංවර්ධන හා මූල්ය සංස්ථා බැංකුව (HDFC) හා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (SMIB) යන බැංකු සඳහා ප්‍රතිලාභ හිමිකරදීම සම්බන්ධයෙන් මේ වනතුරුද ස්ථිර විසඳුමක් ලැබී නොතිබීම කණගාටුවට කරුණකි. මේ සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා, මුදල් අමාත්‍යතුමා වශයෙන් පසුගිය ජූනි මස 26 දින සංගමය හා පැවැති සාකච්ඡාවේදී එළඹි එකඟතාවයන් මුදල් අමාත්‍යංශය වෙත යොමු කරන ලදී. ඒ අනුව මුදල් අමාත්‍යංශ ලේකම් ඇතුළු නිලධාරීන් හා සංගමය අතර ජුලි මස 03 දින පැවැති සාකච්ඡාවේදී සිදුවූ එකඟතාවයන් පරිදි ජූලි මස 17 දින මූලික වශයෙන් ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරු ඇතුළු කළමනාකාරිත්වය කැඳවා ඉදිරී කටයුතු සඳහා උපදෙස් ලබාදී ඇත. නමුත් මේ දක්වා එම කටයුතු නිම වී නොමැත.

තවද විශ්‍රාම ප්‍රතිලාභ නොමැති ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව,නිවාස සංවර්ධන හා මූල්‍ය සංස්ථා බැංකුව (HDFC)යන බැංකුවල සභාපතිවරු හා කළමනාකාරීත්වය මුදල් අමාත්‍යංශය වෙත කැඳවා සාකච්ඡා කරන බවට එකඟ වුවද එයද මෙතෙක් ඉටුවී නොමැත.

සංගමය වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සඳහා විධායක සභාව 2020 ජුනි 19 වන දින රැස්කරවා 2020 ජූනි 26 දින සිට ඇරඹෙන පරිදි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීන්දු කර තිබුණද, ගරු අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත්වීම්වලට සිදුකළ ගෞරවයක් ලෙසත්, පසුගිය කාල පරිච්ඡේදයේ දී හදිසියේ උද්ගත වූ කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසාත් ඉවසීමෙන් යුතුව කටයුතු කළ බව සමස්ථ සාමාජිකත්වය වෙත සිහිපත් කර සිටිමු.

කෙසේ වුවද, මෙම විශ්‍රාම ගැටළුව විසඳීම සඳහා විධිමත් ක්‍රමවේදයන් හා ක්‍රියාවලියක් හඳුන්වා දී තිබියදීත්, රාජ්‍ය බැංකුවල පාලනාධිකාරීන් සාමූහිකව ඊට අනුගත නොවී,එක්ව කටයුතු කිරීමට දක්වන මැලිකම නිසා යහපත් ප්‍රතිඵලයක් සේවකයින් වෙත මේ වනතුරුව ලබාගැනීමට නොහැකි වී තිබේ.

මෙහිදී ඒ ඒ රාජ්‍ය බැංකුවල ප්‍රධානීන් වෙන් වෙන් වශයෙන් විශ්‍රාමය සම්බන්ධයෙන් වූ සංගමයේ යෝජනාවලියට සාධනීය ප්‍රතිචාර දක්වා තිබුණත්, සාමූහිකව එක් මතයක් කරා පැමිණ එම යෝජනා ක්‍රියාත්මක කරවා ගැනීමට නොහැකිවීම සම්බන්ධව එකිනෙකා වෙත ඇඟිල්ල දිගු කිරීමෙන් කිසිදු ඵලක් නොවන බව පෙන්වා දෙමු.

ලංකා බැංකුවේ පාලනාධිකාරිය පැත්තෙන් විශේෂයෙන්ම මේ සම්බන්ධව අමාත්‍යංශයෙන් කැඳවා තිබූ රැස්වීමට සහභාගී වූ ජ්‍යෙෂඨ නියෝජ්‍ය මහා කළමනාකරුගේ (මානව සම්පත්) මූලිකත්වයෙන් ආයුඝණන වාර්තාවක් කැඳවා ඒ අනුව සැකසූ යෝජනාවලියක් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතිය සහිතව මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්‍ෂක වෙත යොමුකර ඇති බවට තොරතුරු වාර්තා වී ඇත. මහජන බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවල ආයුඝණක වාර්තා කැඳවා ඒ අනුව තම යෝජනාවක් සමඟ අධ්‍යක්ෂ මණ්ඩල වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

නමුත් බැංකු තුන අතර ඒකාබද්ධ සාකච්ඡා නොකර පොදු එකඟතාවයකින් තොරව කිසියම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීම තුල අපේක්ෂිත ප්‍රතිඵල ලැබීම සැක සහිතය. එබැවින් සිදුවිය යුත්තේ ප්‍රධාන රාජ්‍ය බැංකු තුනේම ප්‍රධානීන් එකවර රැස්වී පොදු එකඟතාවයකින් යුක්තව සාධාරණ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීමයි.

1996න් පසු බැඳුණු සේවකයින් වෙනුවෙන් දැනට ස්ථාපිතව ඇති විශ්‍රාම වැටුප් ක්‍රමවේදය පහත සඳහන් පරිදි මූලික සංශෝධනයද ඇතුළත්ව පුළුල් හා විධිමත් කිරීමට අප විසින් යෝජනා කර ඇත.

1.) විශ්‍රාම වැටුප ගණනය කිරීම සඳහා ගනු ලබන උපරිම වාර්ෂික දළ වැටුප වැඩිවීම 6.5% සීමාවකට යටත් කිරිමේ කොන්දේසිය ඉවත් කිරීම.

2.) වසර 10ක සේවා කාලයක් සපුරා ඇති සේවකයෙකුගේ විශ්‍රාම වැටුප 10% යන සීමාව, ඔහුගේ අවසන් වරට ලබාගත් දළ වැටුපෙන් 60% ක් වියයුතු බවත්, එම සීමාව අවුරුදු 20 ක් දක්වා එලෙසම පවත්වා ඉන් වැඩිවන සෑම වසරකටම විශ්‍රාම ප්‍රතිශතය වාර්ෂික දළ වැටුපෙන් 1% බැගින් වැඩි කිරීම.

3.) මෙම විශ්‍රාම වැටුපට හිමිකම් කියන සේවකයෙකු විශ්‍රාම යාමේදී ඔහු ලබන විශ්‍රාම වැටුප මෙන් 24 ගුණයක මුදලක් විශ්‍රාම පාරිතෝෂිකය ලෙස ගෙවීම.

ඉහත යෝජනා සම්බන්ධයෙන් ප්‍රධාන රාජ්‍ය බැංකුවල ප්‍රධානීන්ගේ ධනාත්මක ප්‍රතිචාරය සහ පොදු එකඟතාවය දිගින් දිගටම කල් යාම හේතුවෙන් ලංකා බැංකු සේවක සංගමය සියලු සාමාජිකත්වය ගොනු කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ග වලට යොමු වී ඇත.

ආයතනය තුළ කාර්මික සාමය පවත්වාගෙන යාමට සුදුසු පසුබිමක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම් වගකිවයුතු පාලක පංතියක් ලෙස වෘත්තීය ගැටලු සඳහා වහා පිළිතුරු ලබා දිය යුතුය.

එමෙන්ම පිළිගත හැකි කාලසීමාවක් තුළ මේ සඳහා නිශ්චිත විසඳුම් නොලැබේ නම් සංගමයක් ලෙස අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ගවලට පිවිස එළඹෙන අප්‍රේල් මාසයේදී වැඩ වර්ජනයක් දක්වා සාමාජිකත්වය මෙහෙය වීමට සිදුවන බවද වගකිවයුත්තන් වෙත අවධාරණය කර සිටිමු.

ඉල්ලීම් තුනක් ජයග්‍රහණය කිරීමේ අරමුණින් සිදු කෙරෙන වෘත්තීය අරගලයන්ගේ පළමු වෙඩිමුරය ලෙස අද (16) දින සිට අරගලයේ ගැටලු සන්නිවේදනය වන අයුරින් විරෝධතා ලාංඡන පැළඳීමට ලංකා බැංකු සේවක සංගමයේ සාමාජිකත්වය කටයුතු කොට ඇත.

සියලු වාද බේද දුරලා එකාවන්ව එක්සිත්ව ලංකා බැංකු සේවක සංගමය හා සම්බන්ධ වෙමින් #හදවතේපළඳිමු අරගලය ජයග්‍රහණය කරවීම උදෙසා සහයෝගය ලබා දෙන සමස්ථ එඩිතර සාමාජිකත්වයට ලංකා බැංකු සේවක සංගමයේ උත්තමාචාරය !


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks