UPDATE


සටන් කරමු ! අයිතීන් සුරකිමු !

2021 2023 සාමූහික ගිවිසුම් සාකච්ඡා ආරම්භ වන්නේ රට ඉතා දරුණු වසංගතයට මුහුණ දෙමින් සිටින අවදියකය. සාමූහික ගිවිසුමක් පිළිබඳව හයක් හතරක් නොදන්නා පිරිස් මොන දේ පැවසුවත් වගකිවයුතු වෘත්තීය සංගමයක් ලෙස සාමූහික ගිවිසුම් සාකච්ඡා ආරම්භ කිරීම, පවත්වාගෙන යාම සහ අවසන් කිරීම යන කාරණා ඉටුකිරීමේදී මෙම සකළවිධ තත්වයන් පිළිබඳව අවබෝධයෙන් යුතුව සළකා බැලීම සිදුකළ යුතුමය. සාමූහික ගිවිසුම් මෙන්ම ආයතනයේ කාර්මික සාමය පවත්වාගෙන යෑමද අනාගත යහපැවැත්ම කෙරෙහි බලපාන තීරණාත්මක සාධකයකි.

එ බැවින්, සාමූහික ගිවිසුම් සාකච්ඡාවලදී රටේ තත්වය, ආර්ථිකයේ හැසිරීම ආදී තත්වයන් පිළිබඳ සළකා බලමින් සංගමය අපේක්‍ෂා කළ මට්ටම් කරා අදාල යෝජනා පැමිණි නොතිබුණද සෑම ශ්‍රේණියකටම කළ හැකි උපරිම සාධාරණත්වයක් ඉටුකරමින් අවසන් එකඟතාවයන් ලබා දුන්නේ එම සාමූහික කේවල් කිරීම් වල අවසන් ප්‍රතිඵලයක් ලෙසය. ඒ අනූව බැංකු වල අධ්‍යක්‍ෂ මණ්ඩල එකඟතාවයන් සහිතව නිර්දේශ කෙරුණු එම යෝජනාවන් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා මුදල් අමාත්‍යාංශය වෙත යොමුකර මාසයකට අධික කාලයක් ගතවී ඇත. වී අතරතුර විවිධ හේතු දක්වමින් සාමූහික ගිවිසුම් අනුමැතිය ප්‍රමාද වීම තුළ සංගමය මේ වන තුරු අනුගමනය කළ නම්‍යශීලී පිළිවෙත බරපතල ලෙස නොසලකා හැර ඇත.

එසේම රාජ්‍ය බැංකුවල සාමූහික ගිවිසුම් අවසන් නොවීම නිසා ප්‍රාදේශීය, සංවර්ධන බැංකුව, HDFC බැංකුව හා ශ්‍රීලංකා ඉතිරිකිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකුවල සාමූහික ගිවිසුම්ද ඇණහිට ඇත. ඒ අනුව මෙම අනවශ්‍ය ප්‍රමාදය රාජ්‍ය බැංකුවල පැවැත්ම කෙරෙහිද බැංකු සේවකයාගේ හෙට දවස කෙරෙහිද බරපතල අනතුරුදායක වට පිටාවක් නිර්මාණය කර අවසන්ය.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඇරඹේ...

ලංකා බැංකුව, මහජන බැංකුව. ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව යන රාජ්‍ය බැංකුවල පමණක් නොව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC) හා ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව (SLSB) යන සියලූ රාජ්‍ය බැංකුවලට සාමූහික ගිවිසුම් වලින් සිදුවන ප්‍රමාදයෙන් අගතියක් සිදු වී ඇති බැවින් යෝජිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සියලු රාජ්‍ය බැංකුවල ක්‍රියාත්මක කරනු ඇත.

පළමු අදියරේ රාජ්‍ය බැංකුවලට පමණක් සීමාවන මෙම ක්‍රියාමාර්ග ගැටලුව විසඳීමට තවදුරටත් ප්‍රමාද වන්නේ නම් පෞද්ගලික බැංකු ක්‍ෂේත්‍රයටද යොමුවන අතර, බැංකු පද්ධතියේම අර්බුදයක් බවට එය පරිවර්තනය වනු ඇත.

ඒ අනුව පහත සඳහන් ක්‍රියාමාර්ග ඉදිරියේදී දියත් කිරීමට නියමිතය.

1. 2021.10.14-22 - සමාජ මාධ්‍ය, ශ්‍රව්‍ය හා දෘෂ්‍ය මාධ්‍ය හරහා විරෝධතාවයන් ප්‍රකාශයට පත්කිරීම.

2. 2021.10.22 - සියලු රාජ්‍ය බැංකු ශාඛා පරිශ්‍රයන්හි විරෝධතා පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම.

3. 2021.10.25 - 27 - සියලු රාජ්‍ය බැංකු සේවකයින් විරෝධතා ලාංඡන පැලැඳ සේවයේ නිරතවීම.

4. 2021.10.27 සිට සියලු රාජ්‍ය බැංකුවල සහයෝගය නොදීමේ හා සහභාගී නොවීමේ ක්‍රියාමාර්ග දියත් කිරීම.

ඒ අනුව ඉදිරි සතිදෙක තුළ එළඹෙන තත්වයන් සළකා බලමින් ඔක්තෝබර් මස 27 දිනෙන් පසු වැඩවර්ජනයක් දක්වා වූ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සංගමය තීන්දු කර ඇත. ඉදිරි වසර තුනක් සඳහා බැංකු සේවකයාගේ දිවි පැවැත්ම සුරක්‍ෂිත කරන සාමූහික ගිවිසුම් අයිතිය දිනා ගැනීම සඳහා කිසිදු සංගම් බේදයකින් තොරව සමස්ත රාජ්‍ය බැංකු සේවක ප්‍රජාවටම එක්සත්ව පෙළගැසෙන මෙන් සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks