UPDATE


කොළඹ කැළඹෙයි!

බැංකු සේවකයින් දහස් ගණනක් ලේක් හවුස් වට රවුමේ !

විරෝධතාවයට පොලීසියෙන් බාධා !

විරෝධතාකරුවන්ට ජනපති ලේකම් මැදුරේ දොර ඇරේ !

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ඇතුළුව පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය හා ඊට අනුබද්ධ වෘත්තිය සමිති ගණනාවක් සටනට එක්වෙයි !

සහයෝගය ලබා දුන් නන් දෙසින් පැමිණි සාමාජිකත්වයට සංගමයේ ආචාරය !

රාජ්‍ය බැංකු ක්‍ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ අවධානය යොමු වීමෙන් අනතුරුව 2020-06-26 වන දින පැවති සාකච්ඡාවේ දී ඒ සඳහා විසඳුම් ලබාදෙන ලදි. ඒ අනුව එම විසඳුම් ක්‍රියාත්මක කරවා ගැනීම පිණිස 2020-07-03 දින මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුලු ප්‍රධාන නිලධාරීන් සමග සාකච්ජා කරන ලදී.

එහිදී එතුමා විසින් ඉතා පැහැදිලිව එම විසඳුම් ක්‍රියාත්මක කිරීමට එකඟ විය.එහෙත් සාකච්ඡාමය ප්‍රවේශයෙන් විසඳුම් ලබා දීමට පාලකයින් කල් මැරීම හේතුවෙන් රාජ්‍ය බැංකු විශ්‍රාම වැටුප් සංශෝධනයන් ඇතුළුව තවදුරටත් නොවිසඳී ඇති ගැටලු වලට විසඳුම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ලංකා බැංකු සේවක සංගමය විසින් වෘත්තීය ක්‍රියාමාර්ග අරඹා ඇති අතර එම ක්‍රියාමාර්ග වල උච්චතම අවස්ථාව අද (08) දිනයේදී කොළඹ දී සටහන් විය.

ඒ අනුව ලේක් හවුස් වටරවුම වෙත කෑම පැයේ දී එකතු වූ රාජ්‍ය බැංකු සේවකයෝ උස් හඩින් විශ්‍රාමය සහ අනෙකුත් ඉල්ලීම් වෙනුවෙන් හඬ නගන්නට විය.

බෝම්බ හා - කොවිඩ් අස්සෙ

බෙල්ල දුන්න - සේවකයෝ

ලැජ්ජ නැද්ද - හූර කන්න

ශ්‍රමය හලපු - සේවකයෝ

පෙන්ශන් එක - අපේ අයිතිය

අතීතයෙ - දිනු අයිතිය

බැංකු කරුවා - සතු අයිතිය

දියව් දියව් - අපෙ අයිතිය

ශ්‍රමය යොදලා - බැංකුවලට

ලාබ ලබලා - මහ ඉහළට

ලාබ හොයපු - සේවකයෝ

හැටෙන් පස්සෙ - මහ පාරට

කාගෙද මේ - විරෝදේ

සී බී ඊ යූ - විරෝදේ

පෙන්ෂන් එක - නොදුන්නාට

සංගමයේ - විරෝදේ

පිකට් උද්ඝෝෂණය පවත්වා අවසානයේ විරෝධතාකරුවෝ මහා පෙළපාලියකින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ඇදෙන්නට විය.

පෙළපාලිය අතරමගදී පොලිස් බාධක එල්ල වූ අතර විරෝධතාකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඇතුළුවීම ද පොලීසිය විසින් අවහිර කරන ලදී.

පසුව කල ඉල්ලීමකදී විරෝධතාකරුවන්ගෙ ඉල්ලීම රැගත් සංදේශය භාර දීම සඳහා පොලීසියෙන් අවසර ලැබුනි.ඒ අවසරයෙන් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සුපුන් ජීවානන්ද මහතා වෙත ලංකා බැංකු සේවක සංගමයේ ඉල්ලීම් රැගත් සංදේශය භාර දෙනු ලැබුවේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක සහෝදරයා ඇතුළු මව් සංගමයේ සහ ශාඛා සංගම්වල නායක සහෝදරවරුන් විසිනි.

සංගමයේ ඉල්ලීම රැගත් සංදේශය ජනපතිවරයාගේ විශේෂ අවධානයට ඉතා ඉක්මනින් යොමුකරවන බව සම්බන්ධීකරණ ලේකම්වරයා එහිදී ප්‍රකාශ කරන ලදී.

මේ දක්වා එවැනි පොරොන්දු රාශියක් සංගමය වෙත ලිඛිතව සහ වාචිකව ලැබී ඇති බවත් එළඹෙන අප්‍රේල් 22 දිනයට පෙර පිළිගත හැකි විසඳුමක් ලබා නොදුනහොත් රාජ්‍ය බැංකු වැඩ වර්ජනයක් දක්වා සිය සාමාජිකත්වය පෙළගස්වන බවත් ප්‍රධාන ලේකම්වරයා එහිදී කියා සිටින ලදී.

එමෙන්ම ජනාධිපතිවරයාගේ " සෞභාග්‍යයේ දැක්ම " ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි " බැංකු සේවක විශ්‍රාමය " බැංකු සේවකයින් වෙත ලබා දිය යුතු බවත් ඒ අනුව ක්‍රියාත්මක වීමට මුදල් අමාත්‍යාංශය වෙතින් බැංකු පාලනාධිකාරියට උපදෙස් ලබා දී ඇති බවත් ඒවා මෙතෙක් ක්‍රියාත්මක කිරීම හිතා මතා ප්‍රමාද කර ඇති බවත් ජ්‍යේෂ්‍ඨ උප සභාපති විමල් චන්ද්‍රසේන සහෝදරයා පැවසීය.

ලංකා බැංකුවේ පැන නැගී ඇති අර්බුදය මේ වන විට වෙනත් පෞද්ගලික බැංකු වෙතත් පැතිර ඇති බවත් , රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව බැංකු පාලනාධිකාරින් කටයුතු නොකරන බවත් ලංකා බැංකු ශාඛා සංගමයේ සභාපති පාලිත ඇටම්පාවල සහෝදරයා විසින් ප්‍රකාශ කරන ලදී.

ලංකා බැංකු සේවක සංගමයේ මහජන බැංකු ශාඛාවේ සභාපති ශාන්ත ගඟබඩගේ සහෝදරයා විසින් පැවසූයේ දිගින් දිගටම මෙම ගැටලු වලට විසඳුම් ලබා දීමට කල්මරමින් නොසිට ඉතා ඉක්මනින් විසඳුම් ලබා දිය යුතු බවත් උත්සව සමයේ ගනුදෙනුකරුවන් හා රජය අපහසුතාවයට පත් කීරීමට බැංකුකරුවන් ලෙසත්, වගකිවයුතු සංගමයක් ලෙසත් කිසිසේත්ම උවමනාවක් නොමැති බවත්ය.

විශ්‍රාම සටනට ජයවේවා !

ලංකා බැංකු සේවක සංගමයට ජයවේවා !

සංග්‍රාම භූමියේදී නැවත හමුවෙමු !


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks